ස්වර්ණවාහිනියේ අංගම්පොර අතුරුපස

එලොවටත් නැති මොලොවටත් නැති මිනිහෙක් ලෙස අබිලිං ප්‍රසිද්ධය. සිදුවීමක් වූ විගසම කටකතා පැතිරවීම අබිලිංගේ සිරිතය. එය ඇත්ත හෝ වේවා බොරු හෝ වේවා අබිලිංට එය “හොට් නිවුස්“ එකකි. කෝපි කඩයේ රඟ දැක්වෙන අබිලිං මාමාට දැන් දැන් තැනක් නැත. මන්ද අබිලිං මාමා පයෙන් බඩගාගෙන තොරතුරු ලබා දෙන්නටත් ප්‍රථම වෘත්තීය අබිලිං මාමලා ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් එය ගමටම බෙදා හමාරය.

මෙවන්වූ අබිලිංලා නොහොත් මාධ්‍ය ක්ෂේත්‍රයේ අංගම්පොර අතුරුපස පිළිබඳව කරුණු ගෙනහැර දැක්වූ එකම එක අවස්ථාවන මෙය නොවේ. වසර දස දහස් ගණනක ඉතිහාසයේ හෙළ යක්ෂ ගෝත්‍රික මුතුන් මිත්තන් විසින් රහසිගත සටන් ශාස්ත්‍රයක් ලෙස මේ වන තෙක් පවත්වාගෙන ආ හෙළ සටන් ශාස්ත්‍රයට මුහුණ දීමට සිදුවූ විවිධාකාරී අභියෝග හමුවේ මෙය හිරු දුටු පිණි බිඳුවක් ලෙස බැලූ බැල්මට පෙනී ගියද මේ විනාශකාරී විෂබීජය සුලුපටු එකක් යයි අපට නම් පෙනී යන්නේ නැත. ඒ නිසාවෙන්ම සමාජය මේ පිළිබඳව දැනුවත් කිරීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

2012 ඔක්තොම්බර් මස 10 වෙනි දින දහවල් 12 ට ස්වර්ණවාහිනී නම් පුද්ගලික හා ව්‍යාපාරික නාලිකාවේ ප්‍රකාශ වූයේ අමුතුම ආකාරයේ ප්‍රවෘත්තියකි. එම ප්‍රවෘත්තිය ඇසීමෙන් පසුව ඒ පිළිබඳව තොරතුරු සෙවීමේ අරමුණින් අප ශිල්පියෙක් විසින් ස්වර්ණවාහිනී මාධ්‍ය ව්‍යාපාරය අමතන ලදී. ඒ පිළිබඳ සංවාදය පහත පරිදිය.

_____________________________________________________________________
(පිළිගැනීමේ නිළධාරිණිය විසින් ප්‍රවෘත්ති අංශයට යොමු කිරීමෙන් අනතුරුව)

ස්වර්ණවාහිණියේ ප්‍රවෘත්ති අංශ නිලධාරියා - හලෝ..

ශිල්පියා - ආයුබෝවන්,  මට දැනගන්න අවශ්‍යයි අද දොලහේ ප්‍රවෘත්ති වලට ඔයාලගේ තලංගම පැත්තේ මිනී මැරුමක් සම්බන්ධයෙන් අංගම්පොර සටන් කරුවෙකු සම්බන්ධයි කියලා ප්‍රවෘත්තියක් ගියා.

නිලධාරියා - ඔව්

ශිල්පියා - ඒ ප්‍රවෘත්තිය ඔයාලට ලැබුනේ කොහොමද ඒකේ සත්‍ය අසත්‍යතාවය කොහොමද ඒ වගේම ඔයාලා කොහොමද අංගම්පොර කියන නම එතනට පාවිච්චි කලේ කියන එක.

නිලධාරියා - ඔබතුමා කවුද දන්නෑ.

ශිල්පියා - මම කතා කරන්නේ නුවරින්... (යම් අනන්‍යතාවක් පැහැදිලි කරයි.)... මට දැනගන්ට අවශ්‍ය මොකද ඒක ඒ ශාස්ත්‍රයට කරන ලොකු හානියක්. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද ඇයි එහෙම කිව්වේ ඒ කියන්නේ අංගම්පොර ශිල්පියෙක් කියන එක කිව්වේ කොහොමද කියන එක දැනගන්න අවශ්‍යයි. 

නිලධාරියා -  ඉතින් ඒගොල්ලන්ගේ ගෙවල්වලින් කියන දේවල් තමයි ඒවා.

ශිල්පියා - එහෙම කියපු පලියට ඔයාලට පුළුවන්ද එහෙම කියන්න

නිලධාරියා - පුළුවන්. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අපට කියලා තිබෙනවා සත්‍ය තොරතුරු අරගෙන අපට කියන්න පුළුවන්. 

ශිල්පියා - ඔයාලා කොහොමද සත්‍යයි කියලා කියන්නේ ඒ ශිල්පියා අංගම්පොර ශිල්පියෙක් කියලා.

නිලධාරියා - සත්‍යයි කියලා කියන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් අපට සියලුම තොරතුර දීලයි තියෙන්නේ.

ශිල්පියා - කවුද පොලිස් මාධ්‍ය ප්‍රකාශක. මොන පොලීසියෙන්ද එහෙම කියන්නේ.

නිලධාරියා - ලංකාවට එක පොලිස් මාධ්‍ය ප්‍රකාශක කෙනයි ඉන්නේ. ඔයා ලංකාවේ නෙමෙයිද ඉන්නේ.

ශිල්පියා - මම ලංකාවේ තමයි ඉන්නේ. මම අහන්නේ මොන පොලීසියෙන්ද කවුද ඔයාලට තොරතුරු දුන්නේ.

නිලධාරියා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලංකාවේ කොහේටත් එකයි.

ශිල්පියා - ඔව් මම අහන්නේ කවුද කියලා. ඒ කියන්නේ ඔයාලට ඒ තොරතුරු ලැබුණු කෙනා කවුද? මොන පොලීසියෙන්ද කියන්නේ එයා අංගම්පොර ශිල්පියෙක් කියලා.

නිලධාරියා - පොලීසියෙන් නෙමෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක දන්නවද?

ශිල්පියා - ඔවු නම කියන්න කවුද කියලා

නිලධාරියා - අජිත් රෝහණ

ශිල්පියා - එතකොට මම අජිත් රෝහණ මහත්තයද ඔයාට තොරතුරු දුන්නේ.

නිලධාරියා - එහෙන් තමයි අපිට ඔය තොරතුරු එවන්නේ. ඒවා සත්‍ය තොරතුරු.

ශිල්පියා - හරි එතකොට මම අජිත් රෝහණ මහත්තයව සම්බන්ධ කර ගත්තම හරි නේද. එතකොට කියන්න මේ මහත්තයද ඔයාලට තොරතුරු දීල තියෙන්නේ අංගම්පොර ශිල්පියෙක් කියලා.

නිලධාරියා - ඔව්. අපිට එන දේවල් මේ තොරතුරු ඔයාට මේවා බොරු කියන්න බැහැ.

ශිල්පියා - ඔව් හරි මම අහන්නේ ඒ තොරතුර ආවේ කොහොමද සහ මට ඒ පිළිබඳව හොයන්න අවශ්‍යයි.

නිලධාරියා - ඔයා හොයාගන්න මොකද අපි බැඳිල නැහැ ඔයාට තොරතුරු දෙන්න. 

ශිල්පියා - නැහැ. ඔයාලට, මාධ්‍යවලට බැඳිල නැහැ කියලා කියන්න බැහැ. මාධ්‍යට වගකීමක් කියලා දෙයක් තියෙනවා ඔයාලට... හරි කොහොමහරි ඔයාලට තොරතුර ලැබෙන්නේ මාධ්‍ය ප්‍රකාශක හරහානේ. පොළිස් මාධ්‍ය ප්‍රකාශකගෙන්නේ. එතකොට මම එයාව සම්බන්ධ කර ගත්තම හරිනේ.

නිලධාරියා - ඔව්... 

ශිල්පියා - හරි. (මම කතාකරන) ඔබතුමාගේ නම මොකක්ද?

නිලධාරියා - බීප්.... (දුරකථනය විසංධි කරයි.)

(මෙම සංවාදය සම්බන්ධ හඬ පටය අප සතු වුවද අපගේ රහසිගතභාවය ආරක්ෂා කරනු පිණිස ඉදිරිපත් කරනු නොලැබේ.)
_____________________________________________________________________
ඉහත සංවාදයට මුල්වූ අපූරු ප්‍රවෘත්තිය පහත දක්වා ඇත. (මෙම වීඩියෝවේ ඇති දෙවන ප්‍රවෘත්තියයි)



“තලංගම් පැලවත්ත ප්‍රදේශයේ තරුණයෙක් ඊයේ රාත්‍රියේ අභිරහස් ලෙස ඝාතනය කර තිබෙනවා. ඝාතනයට සැක කරන අංගම්පොර සටන් කරුවෙකු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇති බවයි පොලීසිය පවසන්නේ. මෙසේ මිය ගොස් ඇත්තේ පැලවත්ත අලුත්පිටිය ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවෙක්. 

මේ තරුණයා ඊයේ හවස නිවසින් පිටව ගොස් තිබෙන්නේ මිතුරෙකුගේ නිවසට යන බව පවසමින්.  ඒ මිතුරට ලබා දීම සඳහා පරවියෙකුත් අරගෙනයි. නමුත් ඔහු ඊයේ රාත්‍රියේ යලි නිවසට පැමිණ නැහැ. ලැබී ඇති තොරතුරු අනුව ඔහු ඊයේ රාත්‍රිය මිතුරා සමඟ ගත කොට තිබෙනවා. ලාරා යනු ඔහුගේ මිතුරෙක්. ඔහුට අයත් ගරාජයේ ඊයේ රාත්‍රිය මෙලෙස ගත කර තිබෙනවා. එහි සිදුවූ සිදුවීමක් නිසා අසේලගේ මරණය සිදු වන්නට ඇති බවයි තලංගම පොලීසිය පවසන්නේ. අද පෙරවරුවේ ලාරාගේ ගරාජයට මීටර් 15ක් පමණ දුරින් අසේලගේ සිරුර හමුවී තිබෙනවා. මේ වන විට ලාරා සමඟ අසේලගේ මිතුරා ගමෙන් පැන ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ලාරා අංගම්පොර සටන් කරුවෙකු බවයි ඔවුන් ප්‍රකාශ කලේ. පවුලේ වැඩිමලා වූ අසේල දිළිඳු පවුලක දරුවෙක්. මිතුරන් නිසා ඔහු මීට කලින් මත්කුඩු වලට ඇබ්බැහි වී තිබෙනවා. පසුව ඉන් මිදුණු ඔහු යහපත් ජීවිතයක් ගත කළ බවයි අසේලගේ පියා ප්‍රකාශ කලේ. නරක ඇසුර නිසා අසේලට මේ ඉරණමට මුහුණ දීමට ඇති බවයි  අසේලගේ පියා සැක කරන්නේ. සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. තලංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.


අංගම් ශාස්ත්‍රය සම්බන්ධයෙන් අල්පමාත්‍ර දැනුමක් නැති අයෙකුට මෙම ප්‍රවෘත්තියේ කිසිඳු ගැටලුවක් නොමැති බව පෙනී ගියද මේ රටේ කුමන හෝ සාම්ප්‍රදායික ශාස්ත්‍රයකට ගරු කරන යමෙකුට එය පැහැදිලිවම ගැටලුවක් වනු ඇත. කෙසේ වෙතත් එම ගැටලුව සාක්ච්ඡා කිරීමට ප්‍රථම මේ පිළිබඳව අප ස්වර්ණවාහිණියෙන් කළ දුරකථන විමසුම සලකා බැලිය යුතුය. මෙම අංගම් ශාස්ත්‍රය අතුරුපසට භාවිතා කළ අපූරු ප්‍රවෘත්තිය කණ වැකීමෙන් පැය භාගයක් යන්නට පෙර අප ශිල්පියෙකු විසින් ස්වර්ණවාහිණියට ලබා දුන් ඉහත දුරකථන ඇමතුම සලකා බලමු. උක්ත සිදුවීමෙන් පැනනගින ගැටලු පහත පදිරි ගොණු කළ හැකිය.


1. අංගම්පොර ශිල්පියෙක් යන්න තීරණය කළ හැක්කේ කෙසේද?


අංගම්පොර හෝ වේවා වෙනයම් හෝ ශාස්ත්‍රයක් හෝ වේවා හදාරන සිසුවකු එම ශාස්ත්‍රයේ ශිල්පියෙකු වීම හුදෙක් එම ශාස්ත්‍රය උගන්වන ආයතනයකට යාමෙන් පමණක් සිදුවන්නේද යන්න විමසිය යුතුය. උදාහරණයක් ලෙස උඩරට නැටුම් පන්තියකට හෝ කලායතනයකට යන සියලුම සිසුවන් උඩරට වෙස් නැට්ටුවෙකු වන්නේ නැත. ඒ සඳහා ඔහු වෙස් බැඳිය යුතුය. වෙස් බැඳීමෙන් පමණක් නර්තන සිසුවෙකු වෙස් නැට්ටුවෙකු බවට පත්වෙයි. මේ ආකාරයෙන්ම අංගම් ශාස්ත්‍රය හැදෑරීමට පැමිණෙන සිසුවෙකු අංගම්පොර සටන් කරුවෙකු හෝ අංගම් ශිල්පියෙකු වීමට නම් ඔහු අංගම් ශාස්ත්‍රයේ පළමු අදියර (අදියර 18ට වැඩි සංඛ්‍යාවක් පවතී)   සම්පූර්ණ කිරීමේන්වත් සිදු නොවේ. එසේ ශිල්පියෙකු වීමට ඔහු මෙවන් අදියර නිශ්චිත සංඛ්‍යාවක් සම්පූර්ණ කොට (ඌරා ළිඳේ සටන්වල මූලික අදියරද ඇතුළුව) පනික්කි සටන්කරුවෙකු විය යුතුය. පනික්කි නම් වූ තනතුරට පත් වන තුරු ඔහු අංගම් ශිල්පියෙකු ලෙස පිළිගත නොහැකිය.

මෙහිදී පැහැදිලි කළ යුතු තවත් යමක් ඇත. එනම් නැටුම් පන්තියකට සහභාගී වන ඕනෑම සිසුවෙකු නැට්ටුවෙකු ලෙස සමාජය හඳුනා ගත්තද එය එසේ නොවේ. මෙය අංගම් ශාස්ත්‍රයටද ඒ අයුරින්ම අදාල වේ. මෙවන් ගැටලු ඇති වන නිසාවෙන්ම අංගම් ශාස්ත්‍රයේ මූලික දිවුරුමේදීම තම මාපියන් හැර වෙනත් කිසිවෙකුට තමන් අංගම් ශාස්ත්‍රය හදාරන බවට නන් නොදෙඩවිය යුතු බවට පොරොන්දු විය යුතුය.



2. ප්‍රවෘත්යේ තොරතුරු හා දුරකථනයෙන් උක්ත නිලධාරියා පවසන කරුණුවල ඇති පරස්පරතාව

ප්‍රවෘත්තිය තුළදී පළමුව මොවුන් සඳහන් කරන්නේ “ඝාතනයට සැක කරන අංගම්පොර සටන් කරුවෙකු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදන්වී ඇති බවයි පොලීසිය පවසන්නේ.“ යනුවෙනි. එනම් ප්‍රේක්ෂකයාට හැඟී යන්නේ මෙම පුද්ගලයා අංගම්පොර සටන් කරුවෙකු බවට පොලීසිය හඳුනාගෙන ඇති බවයි. එසේත් නොමැතිනම් පොලීසිය පවසන බවයි. කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තියේ අග භාගයට යන විට එම කතාව මදක් වෙනස් වී “මේ වන විට ලාරා සමඟ අසේලගේ මිතුරා ගමෙන් පැන ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ලාරා අංගම්පොර සටන් කරුවෙකු බවයි ඔවුන් ප්‍රකාශ කලේ.“ යනුවෙන් ප්‍රකාශ වේ. සත්‍යා කතාව මෙයින් පැහැදිලිවේ. එනම් මොහු අංගම්පොර සටන් කරුවෙකු බව ප්‍රකාශ කලේ ගම්මුන් විසිනි. එනම් නූගත් ගැමියන් විසිනි. අප ඉහත පැහැදිලි කලාක් මෙන් යමෙක් අංගම්පොර පන්තියකට ගිය පමණින් ‘එයා අංගම්පොර කාරයෙක්‘ හෝ ‘එයා අංගම්පොර කරනවා‘ යනුවෙන් ප්‍රකාශ කිරීම ගම්මුන් සාමාන්‍යයෙන් කරන දෙයකි. එසේ වූ පමණින් ඔහු අංගම්පොර ශිල්පියෙකු නොවන බව වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස දැනගත යුතුය. 

කෙසේ වෙතත් මෙම ප්‍රවෘත්තිය සම්බන්ධව තොරතුරු විමසූ අප ශිල්පියාට තම නම ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති නිලධාරියාට අනුව නම් මෙම තොරතුර එනම් මොහු අංගම්පොර සටන් කරුවෙකු යන්න ඔහුට පවසා ඇත්තේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා විසිනි. දැන් අප පිළිගත යුත්තේ ප්‍රවෘත්තියේ කියන මුසාවද නොමැතිනම් මෙම නිලධාරියා කර මුසාවද යන්න ගැටලු සහගතය. කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ අනුදැනුම මත මෙය සිදුවූවා යන්න උකහා දැක්වීම මොහු විසින් හුදෙක් තමන්ගේ “ගැලවිජ්ජාවට“ කළ ප්‍රකාශයක් බව පැහැදිලිය. මන්ද ලංකාවේ පවතින සියලුම මාධ්‍ය ආයතන වල පැයෙන් පැයන ඇදබාන මුසාවාද සියල්ලම එකම එක පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් සහතික කරනු ලැබුවහොත් අඩුම වශයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකට සක්කරයාගේ බලය වත් තිබිය යුතුය. මන්ද දිනකට යන මෙවන් අපරාධ ගනයේ ප්‍රවෘත්ති සංඛ්‍යාව දෙතුන් සියයක් වත් විය යුතු නිසාවෙනි. කෙසේ වුවද ප්‍රවෘතිය සත්‍යදැයි කීම යනු මෙවන් අපරාධයක් මෙම ප්‍රදේශයේ වූවා යන්න පමණි. ඉන් එහා ඇදබාන සියලුම මුසාවාද මොවුන් විසින් තමන්ගේ නාලිකාවේ ප්‍රසිද්ධිය උදෙසා අහුලා ගන්නා ඒවාය. 


3. අංගම්පොර ශිල්යෙක් යන්න පැවසුවේ කුමන හේතුවක් නිසාද?

අද කාලයේ ජනප්‍රිය මාතෘකාව අංගම්පොර වී හමාරය. එයට හේතුව වන්නේ හන්දියක් හන්දියක් ගානේ සිංහල මෙන්ම මුසල්මානු අංගම්පොර යයි කියා ගන්නා අයවලුන් විසින් කරනු ලබන අංගම් ශාස්ත්‍රය විකුණාගෙන කෑම නිසාය. වරක් (අව)ජාතික රූපවාහිනියෙන්ද මෙවන්ම වූ අංගම්පොර අතුරුපසක් ගැන අප මින් පෙර හෙළිදරව් කළෙමු. එවන් හෙළිදරව් ඉදිරියටද කිරීමට සිදු නොවනු ඇතැයි සිතිය නොහැකිය. 

පොලීසියක් පොලීසියක් ගානේ හන්දියක් හන්දියක් ගානේ මුදලට මෙවන් තොරතුරු දෙන බැලයන් යොදා සිටීම අද්‍යතන මාධ්‍ය ක්ෂේත්‍රයේ හැටිය. මෙවන් යම් සිදුවීමක් වූ විගසම අතබනුවක් හරහා එය තමන්ගේ ස්වාමී මාධ්‍ය ආයතනයට තොරතුර ලබා දී සාක්කුවේ කීයක් හෝ ඔබා ගැනීම ඔවුන්ගේ නීච රස්සාවය. මේවාට පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ වෙනයම් හෝ රාජ්‍ය නිලධාරියෙක් මැදිහත් වන්නේ නැත. මෙම සිදුවීමේදීද එය එසේම වූ බව පැහැදිලි වන්නේ ප්‍රවෘත්ති අංශ නිලධාරියා තොරතුර ලැබුණේ කාගෙන්ද යන්න පුන පුනා අසද්දීත් කටෙන් ගසා බිය කිරීමට තැත් කර බැරිම තැනේදී එය අජිත් රෝහණ මහත්තයාගේ ඇඟේ ගසා අතපිහදා ගැනීමට උත්සාහ දැරීමෙනි. පරස්පර විරෝධී ප්‍රකාශද එය තවදුරටත් ප්‍රකට කරයි.

කෙසේ වෙතත් කවුරුන් හෝ කී ‘‘ලාරා අංගම්පොර කරනවා‘‘ වැනි ප්‍රකාශයක් කණ වැකුණු මෙම අබිලිංලාට ගණදෙවි නුවන පහළ වූවාට සැක නැත. පොඩි අංගම්පොර කෑල්ලක් ප්‍රවෘත්තියට ඇතුළු කලා නම් වැඩේ ‘‘හිට්‘‘ වන බව ඔවුන් දන්නා බැවිනි. මොවුන් මේ හිට් වෙනවා කියන්නේ දවසේ අනෙක් මාධ්‍යවල ප්‍රවෘත්තිවලට වඩා තමන්ගේ ප්‍රවෘත්තියට ජනතා අවධානය වැඩි කර ගැනීමයි. අතීත මුතුන් මිත්තන්ගේ ලේ සුවඳ තවමත් ගිලිහී නොගිය සිංහලයන්ට අංගම්පොර යන වචනය ඇසෙනවිටත් පැණියට ඇඳෙන කූඹි රැල මෙන් එම ප්‍රවෘත්තිය වටා රොක් වීම සාමාන්‍ය දෙයකි. එයට හේතුව අදටත් අපේ මිනිස්සුන්ට සිංහලකම අමතක නොමැති නිසාවෙනි. සිංහලකම ඇතිකළ ශාස්ත්‍රය අමතක නොමැති නිසාවෙනි. සිංහලයා එකමුතු කළ හැකි එකම දේ සිංහලකම බව හොඳින් දන්නා මෙවන් අබිලිං මාධ්‍ය ආයතන තමන්ගේ පහත් ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් මෙවන් උතුම් ශාස්ත්‍රයක් භාවිතා නොකරනවා නම් ඒ සිංහලකමට කරන මහත් උපකාරයකි.


4. ලාරා ඇත්ත වශයෙන්ම අංගම්පොර සටන් කරුවෙක්ද?

ලාරා යන පුද්ගලයා අංගම්පොර ශිල්පියෙක්ද නැද්ද යන්න ඔහුගේ අවජාතක නම වන ‘ලාරා‘ යන්න කණ වැකෙත්ම අපට නම් තේරුම් ගත හැකි විය. එයට හේතුව වන්නේ කවලස් සිංහල (අව)ජාතිකයන්ට මේ අති උතුම් අංගම් ශාස්ත්‍රය උගන්වන්නේ නොමැති බැවිනි. කෙසේ වෙතත් මේ ප්‍රවෘත්තිය පළවී පැය 24ක් ගත වන්නටත් මත්තේන් කොළඹ බලා ගමන් කිරීමට අප එක් ශිල්පියෙකුට සිදුවූයේ මේ හරි අපූරු මළගෙදරයාමේ ඇති අවශ්‍යතාවය නිසාවෙනි. ප්‍රවෘත්තියේ පැවසූ තොරතුරුවලට අනුව තලංගම ප්‍රදේශයේ සූක්ෂම සෝදිසි මෙහෙයුමක යෙදුණ අප ශිල්පියාට ඒ සඳහා වැඩි මහන්සියක් ගැනීමට සිදු නොවූයේ මළගෙදර සොයා ගැනීම කොස්වත්ත හංදියේදීම ලද තොරතුරු මතින් පසක් වීමෙන්ය. මියගිය පුද්ගලයාගේ පැරණි මිතුරෙකු ලෙස පෙනී සිටි අප පුද්ගලයාට ‘බජාර්‘ එකේ අයගෙන් තොරතුරු ගැනීම එතරම් අපහසු වූයේ නැත.

රටේ මාර්ග නීතිය සතේකට ගණන් නොගන්නා ස්වර්ණවාහිනිය
වැඩි විස්තර
අප විසින් මේ වන විටත් තොරතුරු සොයා ගනිමින් පසුවන හා ලැබී ඇති තොරතුරුවලට අනුව අංගම්පොර ශිල්පියෙකු නොවන වගට පසක් කොටගෙන ඇති පුද්ගලයෙකු වන චීනඩි ගුණදාස නම් පුද්ගලයාගේ අංගම්පොර නමින් බත්තරමුල්ල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන චීනඩි පන්තියකට සති දෙක තුනක් ගිය පුද්ගලයෙකු වන මෙම ලාරා යන පුද්ගලයා සරළ සිංහලයෙන් කිවහොත් ‘කුඩු කාරයෙකි‘. මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කරමින් තමන්ගේ සගයන් සමඟ තරමක චන්ඩි චරිතයක් ලෙස ප්‍රදේශයෙන් ප්‍රකටව සිටි මෙම පුද්ගලයා ‘ගහගන්න ඉගෙනගන්න‘ අංගම්පොර පන්තියකට ගියේ ඊයේ පෙරේදාය. තමන් සමීපයට පැමිණෙන ඕනෑම අපතයෙකුට තමන්ගේ පොරය උගැන්වීමට සැදී පැහැදී සිටිම මෙම චීනඩි ගුණදාසද මිනිසෙකුගේ පශ්චාත් භාගයට පිහියකින් ඇණ හිරේ ගොස් නැවත පැමිණ චණ්ඩියෙකු වූ චීනඩි කුපාඩි සෙල්ලම් කරුවෙකි. කරුණාපාලලා, ග්‍රේෂන්ලා, රාජ වික්‍රමාරච්චිලා වැනි තමන්ගේ සම වයස් චීනඩි ශිල්පීන් අංගම්පොර ශිල්පීන් ලෙස හැව හරින විට පස්සෙන් ගොස් පස්සට පිහියෙන් ඇන්න තමන්ද එසේ නොවන්නේ මන්දැයි චීනඩි ගුණදාස සිතුවා විය යුතුය. (මෙම චීනඩි ගුණදාස ගැන සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලියවේ.) කෙසේ වෙතත් මොන කුඩුකාරයාට හෝ කමක් නැහැ අංගම්පොර නමින් චීනඩි උගන්වා නහින දෙහින කාලේ කීයක් හරි හොයා ගැනීමට ගත් අහිංගස උත්සාහය මෙසේ මිනීමැරුමක වගකීම තමන්ට පැටවෙන ලෙස අවසන් නොවූවා යයි චීනඩි ගුණදාස හෝ පොරයක් ඉගෙන ගෙන චණ්ඩියෙකු වීමට පුන පුනා සිටි අවජාතක ලාරා නොසිතන්නට ඇත.

මෙහිදී මෙම ප්‍රස්තුතයට අදාල ගැටලුව අංගම්පොර නමින් උගන්වන චීනඩි පන්තියකට සති දෙකක් ගිය ලාරා අංගම් සටන් කරුවෙක් වනවාද? චීනඩි ගුණදාස උගන්වන්නේ අංගම්පොරම වුවද සති දෙකකින් අංගම්පොර ශිල්පියෙකු විය හැකිද?


“කම්බිලි හාමුදුරුවනේ එහෙනම් අපේ හටනටත් අලුත් හෙනයක් ගහන්ට වාගේ“

දඬුබස්නාමානය නම් වූ ටෙලිනාට්‍ය පළමුවෙන්ම රූපවාහිනියේ ගිය දින එය නොබැලූ නමුත් ඒ ගැන ඇසූ මේ වන විට ජීවතුන් අතර නොමැති අපගේ ආදී ශිල්පියෙකු විසින් මෙසේ ප්‍රකාශ කලා ඉහත ප්‍රකාශය කලා අපට තවමත් මතකය. දැන් අපට කිව යුත්තේ මෙයයි. 

කම්බිලි හාමුදුරුවනේ මේං ඒ ටික මහ මහ තැන්වලින්ම කරනවා. අපේ රට පාලනය කරන මහ උන් ඇටිකෙහෙල් කාපු උගුඩුවෝ වාගේ නියෝ නියෝ ඉන්නවා. 

සිංහල බෞද්ධයෝ එදා ඉඳලාම අද දක්වාම බෞද්ධ පිළිවෙතක් අවසානයේ ‘‘රාජා භවතු ධම්මිකෝ‘‘ කීවේ කටකහනවට නොවේ. රටේ පාලකයින් ධාර්මික නොවුණහොත රටට හෙණ ගහන බව දන්නා නිසාවෙනි. අද ප්‍රසිද්ධ මාධ්‍ය කියන අවජාතක අබිලිංලා විසින් මේ රටේ වීරයන් කෙළ කෝටියක් බිහිකළ ලෝකයම හොල්ලපු සිංහල ජාතියක් බිහිකළ අති උතුම් අංගම් ශාස්ත්‍රය උන්ගේ ජරාජීර්ණ මුදල් පෙරේතකමට යොදා ගන්නා විට ‘බකංනිලාගෙන‘ ඉන්ට නම් පාලකයන් අවශ්‍ය නැත. ඡන්දෙට විතරක් කතාකරන සිංහලකම තියෙන පාලක කලුසුද්දන් සිටින රටක අපිට මේවා කියන්ට වීමද අපි මේ කලියුගයේ වචීපරම මිනිසුන් අතර උපත ලැබීමට කළ මහා පාපයේ උග්‍රතම අවස්ථාව ලෙස පෙනී යයි. මේ රටේ අහිංසක බහුතර සිංහල මිනිස්සුගේ ඇස්ගෙඩිවලට පින් සිද්ධ වෙන්ට මේ අබිලිංවාදී ස්වාර්ණවාහිනය අද අපේ සමාජයට දෙන ආදර්ශය කුමක්ද යන්න පැහැදිලිය. ඒ අම්මගේ තාත්තගේ ඊරී මාංසේ උරා බීල හරි කමක් නැහැ, සීගිරිය කලුගල්වලට විකුණලා හරි කමක් නැහැ තමන්ගේ ජරාජීර්ණ මුදල් පෙරේතකම සංසිඳවා ගත යුතුය යන්නයි. එසේ නොමැතිනම් ඇත්ත දැනගන්න කියා පස්ස පැත්තේ බෝඩ් එකක් ගසාගත් පසුව, යන්තම් හුළඟට හෝ රෙද්දක් ඉස්සුන ගෑණියෙක් දැක්ක ගමන් අන්න අර ගෑණී රෙද්ද උස්සගෙන ගම වටේ යනවා කියා රට වටේ ගොස් කියපල්ලා. තව ටිකක් ‘හිට්‘ වෙන්න ඕන නම් මේක තමයි ලාංකේය අභිමානය කියා කියාපල්ලා කියා විය යුතුය.

අවසාන වශයෙන් ස්වර්ණවාහිණිය ප්‍රධාන මෙවන් වගකිවයුතු නමුත් වග නොකියන  රජයේ හෝ වේවා පුද්ගලික හෝ වේවා මාධ්‍ය ආයතනවලට කිව යුත්තේ

උඹලා උඹලාගේ බූදලයෙන් ඕනෑම කෙංගෙඩියක් පෙන්නා තමන්ගේ බඩජාරී මුදල් ජාවාරම කර ගත්තාට කම් නැත. කම්බිලි දෙයියන්නේ නාමෙට අමිශ්‍ර සිංහලයන්ගේ බූදලයක් වන මේ උත්තරීතර අංගම් ශාස්ත්‍රයට අත තියන්න එපා !



4 comments:

  1. මුන්ට අවශ්‍ය සල්ලි හොයන්න විතරයි. රටේ මොන සම්ප්‍රදායට හානියක් වුණත් ගමක් නැහැ. බලලා මැටියෙන් වුණත් කමක් නැහැ මීයෝ අල්ලනවානම් කිව්වලු.

    ReplyDelete
    Replies
    1. නොදන්න දේවල් ගැන කථා කරන්න කලින් මේ ගැන හොයලා බැලුවොත් නරකද?

      Delete
    2. අංගම්හොරු කණ්ඩායම හොඳින් මේ ගැන සොයා බලා අවසානයේ තමයි මේ ලිපිය ලියා අවසන් කළේ.

      Delete
  2. මෙවැනි ප්‍රවෘත්ති එම සිද්ධියෙන් පසුව නැවත වතාවක් වාර්තාවෙලා නැතිද?

    ReplyDelete