ඉසිවර රණකෙලියේ අංගම්පොර මලකෙලිය

සාහිත්‍යය, සංගීතය, කලාව යනු මේ රටේ මූලාරම්භය කරා දිවයන සමාජ පුරුද්දකි. විවිධ යුගයන්හි විවිධ සමාජ අවශ්‍යතා සැපිරීම උදෙසා කලා කෘති නිර්මාණය වූ අතර ඒවායෙන් මේ රටේ අභිවෘද්ධියට සිදුවූ මෙහෙය අප්‍රමාණය. එය එදත් අදත් හෙටත් එසේම විය යුතු වුවද අද අද සිදුවන කලා නිර්මාණ සමාජ ප්‍රගමනයට හේතුවනවාද නොමැති නම් ප්‍රතිගාමීත්වයක් නිර්මාණය කරනවාද යන්න විමසිය යුතුව තිබේ. ගහක කොළක මලක නමක් වත් ඉතුරු නොකරන්නට නාට්‍ය නිර්මාණ බිහිවන යුගයක මේ රටේ අති උතුම් අංගම් ශාස්ත්‍රයට අත තැබීමේ පාපකර්මයට මුලින්ම කණවැල ඇල්ලුවේ ජයන්ත චන්ද්‍රසිරි විසින් දඬුබස්නාමානය හා අකාල සන්ධ්‍යා වැනි නාට්‍ය නිර්මාණ තුළිනි. 

1818දී සුදු ජාතික බිරිතාන්‍යයන් විසින් අංගම් ශාස්ත්‍රය පුහුණු කිරීම හා අවිආයුධ ළඟ තබා ගැනීම තහනම් කරනවාත් සමඟම අන් කවර සටන් ශාස්ත්‍රයකටවත් මුහුණ දීමට සිදු නොවූ අභියෝගයකට පුරාතන හෙළ සටන් කලාව මුහුණ දුන්නා කිවහොත් නිවැරදි ය. දහඅටේ කැරැල්ල පවාදීමත් සමඟ සුද්දන්ට අවශ්‍ය වූයේ මේ රටේ නැවතත් එවන් විප්ලවයක් ඇති නොවන තැනට වැඩ බලා ගන්නටය. එහිදී ඔවුන් ගත් මූලික තීන්දුව වූයේ විප්ලවකාරී ආකල්ප ඇති කරන සටන් කලාවක් හෙළයත් සතු බවත් එය වළලා දැමිය යුතු බවත් ය. මෙයින් පසු හෙළයේ සටන, සටන් රහසක් බවට පත් වූයේ යුගයේ අවශ්‍යතාවයත් සමඟය. වසර 150කට ආසන්න කාලයක් තිස්සේ මේ සටන් කලාව ආරක්ෂා කර ගන්නට ලේ ඇට මස් නහර දන් දුන් සිංහලයන් ප්‍රමාණය ගණන් කළ නොහැක යයි කීම සාවද්‍ය නොවේ.

වසර 150කට පසුව වුවද අපේ සිංහලයන්ගේ ලේ ඇට මස් නහරවලට ප්‍රභලව දැනුණ නමක් බවට ‘අංගම්පොර‘ හඳුනාගත් ජයන්ත චන්ද්‍රසිරිගෙන් ආරම්භවුණ ටෙලිනාට්‍ය නිර්මාණකරුවෝ හා චිත්‍රපටකරුවෝ අංගම්පොර අතුරුපසක් තමන්ගේ නිර්මාණයට එක්කොට ගන්නට නොමදව උත්සාහ දරණ බව පෙනේ. මේ නිර්මාණයේ අංගම්පොර තිබෙනවා යයි කියූ පමණින් සාමාන්‍ය ජනතාව පෙළගැසී එය බලන්නට සිටින බවත් ඒ මගින් තමන්ගේ බඩ වඩා ගත හැකි බවත් ඔවුන් දන්නා පැහැදිලි කරුණකි. මෑත කාලයේදී රූපවාහිනියේ විකාශය වූ ඉසිවර රණකෙලියේ අධ්‍යක්ෂ වරයා වන විමලරත්න අදිකාරිටත් මෙය මනාව වැරහී ඇති බව පැහැදිලි කරුණකි. ඒ නිසාවෙන්ම අජන්ත පෙරේරා ඇතුළු පිරිසක් අංගම් සටන් සඳහා යොදා ගනිමින් තමන්ගේ බිරින්දෑ හා දෝණියන්දෑ මහා කලාකරුවන්සේ පෙන්වීමට අංගම්පොර පාවිච්චි කළ බව නම් මුලින්ම කිව යුතු ය. 

අජන්තගේ ගෝලයන් සමූහයක්ද යොදා ගනිමින් අංගම්පොර අතුරුපස මනාවට සකස් කර තිබූ මෙම නාටයයේ අංගම් ශාස්ත්‍රය ගැන සමාජයට යමක් කීමට උත්සාහ කිරීම හා එවන් උත්සාහයක් පරිභව කිරීම මෙයින් සිදු කිරීමට උත්සාහ නොකරමු. කෙසේ වුවද වසර 33000කට එපිට ඉතිහාසයකට උරුමකම් කියන මෙවන් සටන් ශාස්ත්‍රයක් යනු හුදු කරාතේ, ටයිකොන්ඩෝ, වූෂූ වැනි සටන් කලාවක් සේ සැලකීම හා මෙම සටන් සම්ප්‍රදායේ රීතීන් උල්ලංඝනය වන සේ කටයුතු කිරීම මෙම ශාස්ත්‍රයේ සැබෑ උරුමකරුවන් ලෙස විවේචනය කිරීම අපගේ යුතුකමය. නිර්මාණ කරුවාහට නිර්මාණ කිරීමේ නිදහස තිබෙනවා යන්න සත්‍යක් වුවද සාම්ප්‍රදායික ප්‍රපංචයක් පාදකකොටගෙන නිර්මාණය කිරීමේදී උක්ත සම්ප්‍රදායට අවමන් කිරීමේ නිදහස නොමැත. කෙසේ වුවත් ඉසිවර රණකෙලියෙන් සිදුවූයේ අංගම්පොර සම්ප්‍රදායට එවන් මලකෙලියක් බව නම් මෙම ලිපිය තවදුරටත් කියවන ඔබට පැහැදිලි වනු ඇත.

මෙම නාට්‍ය හා දඬුබස්නාමානය අතර ඇති පැහැදිලි වෙනස නම් සටන් ශාස්ත්‍රයේ සම්ප්‍රදායන්ට ප්‍රභලව අත තැබීම හා සම්ප්‍රදායන් පසෙක තබා නිර්මාණය සිදු කිරීම යන්නයි. අංගම් සටනේ පිරිමි සටන් කරුවන්ට හා කාන්තා සටන් කාරියන්ට තමන් සිටින ශාස්ත්‍රීය මට්ටම අනුව ඇඳුම් ආයිත්තම් කිහිපයක් ඇති අතර මෙම නාටකයේ එවන් වූ ශාස්ත්‍රීය මට්ටම සැලකිල්ලට ගත් බවක් නොපෙනේ. එසේම එවන් සටන් ඇඳුම් භාවිතා කිරීමේ සීමාවන් හඳුනාගෙන නිර්මාණය කළ බවක්ද නොපෙනේ.  සටන් ඇඳුම් අඳිමින් ඉණපටි බැඳගෙන ගම වටේ ඇවිදින විනයෙන් තොරවූ සටන් කරුවන් පිරිසක් මේ තුළින් පිළඹිබු වේ. අප දන්නා තරමින් කරාතේ පන්තියකින් වුවද පිටතට පැමිණීමේදී සටන් ඇඳුම ගලවා සාමාන්‍ය ඇඳුමින් සැරසිය යුතු ය. මෙය අංගම් ශාස්ත්‍රයේදි දැඩිසේ සැලකිල්ලට ගන්නා අනිවාර්ය රීතියකි. සටන් ඇඳුම සටන් භූමියට පමණක් සීමා වූ ගෞරවණීයත්වයෙන් සැලකූ ලක්ෂණයකි. එය කෙදිනකවත් පාරේ තොටේ ඇවිදීමට භාවිතා නොකරයි. ඉණපටි හා ජටා බැදීම සිදු වන්නේ ගුරුවරයා ඉදිරිපසදී හා හරඹ පුහුණුවකදී හෝ සටන් භූමියක් තුළ පමණි. එවන් වූ ගෞරවාන්විත සම්ප්‍රදායකට මෙසේ හානි කිරීම ඉතාමත් පහත් ක්‍රියාවකි. 

ඉන්දියාවට එරෙහිව සුරාසුර යුද්ධයේ සිට අද  දක්වා භාවිතා වූ සටන් ශාස්ත්‍රයක් වන අංගම් ශාස්ත්‍රය ඉන්දියානු සම්ප්‍රදායන්ගෙන් පරිබාහිරව දේශීය අනන්‍යතාව 100%ක්ම උරුම කොට ගත්තකි. එවන් වූ සටන් කලාවක ඉතිහාසය නොදන්න රණකෙලි නාටකය තුළ සටන් ශිල්පය ආරක්ෂා කිරීමට සිටින්නේ ඉන්දියානු මලයාලම් ඇඳුමක් ඇඳගත් දෙමළ පෙනුමක් සහිත සන්නාසියෙකි. සන්නාසියන් මේ රටට පැමිණියේ නම් ඒ මේ රට විනාශ කිරීමට හෝ නොමැතිනම් ඔත්තු බැලීමට මිස හෙළ කලා ශිල්පයන් ආරක්ෂා කිරීමට යයි හෙළයන්ට විශ්වාස කළ නොහැකි ය.  සිය ගණන් හෙළ ඇඳුම් ආයිත්තම් තිබියදී රතුපාටින් නිමවූ දෙමළ ඇඳුමක් ඇන්දවීම හා ඔහුටම වරෙක සටන් ඇඳුම් අන්දවා පෙන්වීම එල හරකා සහ මී හරකා වගේය යන කියමන සිහියට නංවයි. මේ අතර ප්‍රධාන සටන් ගුරුවරයා නොමැතිනම් මොහන්දිරම් තුමා සටන් භූමියෙන් පිටත අඳිනුයේ හිරකාරයෙකුගේ ඇඳුමකි. අංගම් ශාල්පීන් වූ කලි තමන්ගේ මුලු ජීවිතයම සටන් ශාස්ත්‍රයට කැප කළ පිරිසකි. ඔවුන් කන්නේ බොන්නේ පවා එක්තරා ක්‍රමවේදයකට අනුවය. ඇඳුම් පැළඳුම් නිරායාසයෙන්ම හෙළ ගති ලක්ෂණ වලින් යුක්ත  ඒවා වේ. එය සටන් ගුරුවරයෙකුට 100%ක්ම අදාල විය යුතු ය. එසේ නොමැති වුවහොත් ඔහුට කකුළවාගේ න්‍යාය අදාලවන බැවිණි.

අංගම් ශාස්ත්‍රයේ පුහුණු වීම් සිදුකරන අංගම් මඩුවක් තුළට පිටස්තර උදවියට පැමිණීම සපුරා තහනම් වන අතර සටන් පුහුණුවීම් සිදු කරන ආකාරය බැලීමට කිසිවෙකුටත් අවසර නැත. එය එසේ වුවද අධ්‍යක්ෂකවරයාගේ දෝණියැන්දා නිසාදෝ නවරත්න වලව්වේ මැණිකේට කිළි කුණු සියල්ල ගෙන අංගම් මඩුවට පැමිණ එහි පාරිශුද්ධත්වය කෙලසීමටත් එහි සටන් පුහුණුවීම් පෙන්වීමටත් ඉඩදී තිබීම සටන් ශාස්ත්‍රයේ න්‍යායන්ට කරනු ලබන අතිමහත් විනාශයකි. මේ අතර වර්ණා (හිමාලි සිරිවර්ධන) කුණ්ඩලීණී භාවනා අභ්‍යාසවල නිරත වන විට ඇගේ මව ඒ අසලින් පැදුරක් දමා නිදාගෙන සිටින දර්ශනය පිළිකුල් සහගතය. තරුණ කාන්තාවකගේ ආරක්ෂාවට තමන්ගේ මව සිටිය යුතු බව සාමාන්‍ය විඥානය වුවද සටන් ශාස්ත්‍රයේ ඉදිරියට ගොස් කුණ්ඩලීණී අභ්‍යාස කරන කාන්තාවකට එය අදාල නොවේ. ඇය භාවනා කළ යුත්තේ ආරක්ෂාවට යම් ගුප්තමය කටයුත්තක් සිදු කරගෙන පාරිශුද්ධ භූමියක් තුළ තනිවමය. ඒ මිස භාරකරුවන් ළඟ තබාගෙන ඔවුන්ගේ රැකවරණය යටතේ භාවනා කිරීමේ බියගුලු සම්ප්‍රදායක් අංගම් ශාස්ත්‍රයේ නැත. 

මේ අතර අංගම් ශාස්ත්‍රය තුළ පමණක් නොව ඕනෑම සටන් ශාස්ත්‍රයට ප්‍රභල පහරක් එල්ල කිරීමෙන් විනා සතුරාට දුවන්නට සිතෙන්නේ නැත. අංගම් ශාස්ත්‍රයේදී ප්‍රභල පහරක් බලා සිටින්නාට ප්‍රභල බව වැටහෙන්නේ පහරට ලක්වන කෙනාගේ ඉරියව්වෙන් බව සැබෑය. නමුත් ඒ සඳහා සාධාරණ නොමැතිනම් ප්‍රමාණවත් පහරක් ප්‍රතිවාදියාට එල්ල කළ යුතු ය. නොමැතිව ඇඟිල්ලක් දික් කළ පමණින් දිවයාම අංගම් ශාස්ත්‍රයේ මූලික හර පද්ධතියට කරන ප්‍රභල හානියකි. මෙම නාටකය තුළ එවන් නොගැලපෙන බියවැදී පලායාම් රාශියක් දක්නට ලැබිණ.

කාලාන්තරයක් තිස්සේ සටන් ශාස්ත්‍රයක් හදාරණ පුද්ගලයෙකුගේ සකස් වූ ශරීරය ගැන සැලකිලිමත් නොවන නිර්මාණකරුවා බාල ගණයේ බොරු කොණ්ඩා (විග් එකක්)  දැමීම පමණක් සිදු කොට සටන් කරුවෙකු නිර්මාණය කිරීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ. මේ බව ජගත් චමිලගේ මාංශ පේෂීන් වැහැරෙන පපුවත්, බුද්ධදාස විතානාරච්චිගේ අඩි ගණනක් දිග බඩත් දැකීමෙන් පිළිබිඹු වේ. සටන් ශාස්ත්‍රයක් හදාරණ අයෙකුගේ ශරීරය ගැන අවධානය නොකිරීම තුළින් සටන් කරුවා තුළ ඇති ජවය නිර්මාණය නොවේ. ඒ බව ජගත් චමිලගේ සටන් රඟපෑමෙන් පෙනී යයි. ජයත් චමිල ගැලපෙන්නේ ගාමනී චිත්‍රපටයේ මෙන් විකට චරිතයකට විනා අංගම් සටන් කරුවෙකුගේ චරිතයකට නොවන බව නොවැටහීම අධ්‍යක්ෂකවරයාගේ නොසැලකිල්ල හා අනබෝධය මොනවට පිළිබිඹු කරන්නකි. නාටකය අවසානයේ ජගත් චමිල විසින් බාල ගණයේ එතුණු කඩුවක් කැරකැවීමෙන් ඒ බව තවත් පසක් වේ. එතුණු කඩුවක් කරකැවීම යනු ගලක් බඳින ලද ලණුවක් මෙන් නොවේ. එයට මැණික් කටුව හැසිරවීම අතිශය දියුණු කිරීමෙන් කළ උසස් ක්‍රමවේදයක් මෙන්ම නිශ්චිත අඩිමාරුවක්ද ඇත. එය භාවිතා නොවන විට ඉන්දියානු සුරුට්ටුවාලුව කැරකැවීමටත් වඩා අශෝභනය.

කෙසේ වුවත් අවසන් වශයෙන් කිව යුත්තේ කාටහෝ වේවා තමන්ගේ නිර්මාණය ප්‍රසිද්ධ කර ගැනීමට අංගම්පොර අතුරුපසක් භාවිතා කිරීමට සිත් වන්නේ නම් එය ඒ නිසාවෙන්ම ආවට ගියාට නොකරන ලෙසයි. මෙය අබා නිර්මාණයේදී ජැක්සන් ඇන්තනී ද, ගාමනී නිර්මාණයේදී සරත් වීරසේකර ද, විජය කුවේණී නිර්මාණයේදී සුගත් සමරකෝන්ද යොදා ගත් ප්‍රචාරක මාධ්‍යයකි. මේ නිසාවෙන්ම මෙම නිර්මාණයන ප්‍රචලිත වූ බව සැබෑය. නමුත් මේවායෙන් අංගම් ශාස්ත්‍රයට නම් සිදුවූ යහපතක් නැත. ඒ අතින් ගත් කළ දඬුබස්නාමානය සමාජ මෙහෙවරක් සිදු කළ නමුත් ශාස්ත්‍රයට හානියක් සිදු නොකළ බව කිව යුතුම ය. එය එසේ වුවද ජයන්ත චන්ද්‍රසිරිගේම අකාල සන්ධ්‍යා තුළින් සිදුවූයේද ඉතිහාස හා අංගම් ශාස්ත්‍ර විකෘතියකි. එවන් වූ විකෘතියක් අජන්ත පෙරේරාවත් සම්බන්ධ කොටගත් මෙම ඉසිවර රණකෙලියෙන්ද වූ බවත් එහි අනිටු ප්‍රතිඵල නිසාවෙන් අංගම් ශාස්ත්‍රය සම්බන්ධ ජන විඥානය විකෘති වූ බවත් තරයේ කිව යුතු ය.